ජනවාරි මස මහනුවර ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි

Print
Created on Thursday, 23 February 2017

ජනවාරි මාසය තුළ මහනුවර දිස්ත්‍රික් ඩෙංගු රෝගීන් බවට සැක කරන පුද්ගලයින් 269ක් වාර්තාවී ඇති බවත් එය පසුගිය දෙසැම්බර් මාසයට සාපේක‍ෂව විශාල වැඩිවීමක් බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ වෛද්‍ය ඒ.එම්.එස්.වීරබණ්ඩාර මහතා සඳහන් කරයි.

අධ්‍යක‍ෂවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා (19) මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේදී මාසික ඩෙංගු මර්දනය සම්බන්දයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි.

වාර්තාවු රෝගීන් සංඛ්‍යාව වැඩි වුවත් මෙම වසරේ මේ දක්වා එකදු මරණයක් හෝ වාර්තා නොවුයේ මහනුවර මහ රෝහලේ සායනික කටයුතුවල උසස් බව සහ ප්‍රතිකාර සම්බන්දයෙන් රෝගීන් නිසි පරිදි දැනුවත්ව සිටි නිසා බවද වෛද්‍ය ඒ.එම්.එස්. වීරබණ්ඩාර මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාපෘතිය පාලනය සඳහා නව ධුමානය යන්ත්‍ර 35ක් ලැබී ඇති බවත් මෙම නව යන්ත්‍ර ඩෙංගු පාලනය කිරීමට විශාල උපකාරයක් බවත් පැවසු අධ්‍යක‍ෂවරයා කැලි කසල අක්‍රමවත්ව බැහැර කරන නාගරික ප්‍රදේශ ආශ්‍රීතව ඩෙංගු රෝග ව්‍යාප්තිය බහුලව සිදුවන බවද පැවසීය. එබැවින් කැළි කසළ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් සොයාගත යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

2017 වසාරේ ඩෙංගු රෝගය වැලදීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ දහයක් වාර්තා වී තිබේ. මෙම වසරේදී කුණ්ඩසාල කොට්ඨාශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර උඩපලාත ගම්පොල, යටිනුවර හා හාරිස්පත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ඩෙංගු අධි අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන ඇති බවත් අධ්‍යක‍ෂවරයා පැවසීය.

කොළඹ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කය හැරුණු විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ  මහනුවර දිස්ත්‍රික්කයෙන් බැවින් මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය පිළිබඳව වැඩි අවදානයක් යොමු කළ යුතුව ඇති බවත් අධ්‍යක‍ෂවරයා පෙන්වා දෙන ලදි.

මෙම රැස්වීම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා අතුළු මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

Monday 23rd of October 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.