බෝගම්බර ජාතික කෞතුකාගාරයක් සහ සංස්කෘතික මධ්‍යස්ථානයක්

Print
Created on Wednesday, 22 March 2017
මහනුවර බෝගම්බර බන්ධනාගාරය සංරක‍ෂණය කරමින් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් වාස්තු විද්‍යාඥ ගැමුණු ප්‍රේමවර්ධන මහතා සඳහන් කරයි.
 
අස්ගිරි සහ මල්වතු මහනායක හිමිපාණන් වහන්සේලාගේද උපදෙස් ලබා ගෙන ඇති බව පැවසු ප්‍රේමවර්ධන මහතා ඊට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති බවද පැවසීය.
 
වරලත් වාස්තු විද්‍යාඥ ගැමුණු ප්‍රේමවර්ධන මහතා මෙම කරුණු දැක්වුයේ ඊයේ (20) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
 
බෝගම්බර බන්ධනාගාරයේ සියලූ කටයුතු පල්ලේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරය වෙත ස්ථානගත කිරීම නිසා මේ වන විට අදාළ භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මුල්වී මෙම ස්ථානය සංරක‍ෂණය කරමින් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කොට ඇති අතර, එහිදී මෙම ස්ථානයේ ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතිකමය සහ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳ යෝජාන ඉදිරිපත් වී තිබේ. ඒ අනුව සිංගප්පුරුවේද සහාය ලබා ගෙන මේ සම්බන්ද වාස්තු විද්‍යා කටයුතු ආරම්භ කරමින් සැළසුම් සකස් කරන බව පෙන්වා දුන් ප්‍රේමවර්ධන මහතා එහිදී ලාංකික සංස්කෘතිය සහ උඩරට සංස්කෘතිය ආරක‍ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු ඉටු කිරීමට නියමිත බවද පෙන්වා දෙන ලදි.
 
ඉදිරි කාලයේදී මෙහි ප්‍රථම අදියර ආරම්භ කිරීමට නියමිත බව පෙන්වා දුන් ඒ මහතා මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන එන ශ්‍රී ලාංකික කලාකරුවන් වෙනුවෙන් ඉදි කෙරෙන පීඨිකාවක් බවට පත් කර ගත හැකි බවද පෙන්වා දෙන ලදි. මේ සම්බන්දයෙන් පැවති සාකච්ඡා සඳහා අස්ගිරි සහ මල්වතු නාහිමිපාණන් වහන්සේ නියෝජනය කරමින් මහා සංඝරත්නයද සහභාගී වූ බවත්, උන්වහන්සේලාගේ උපදෙස් සහ අනුශාසනා කෙරෙහි වැඩි අවධායක් යොමු කරන බවත් ප්‍රේමවර්ධන මහතා පෙන්වා දෙන ලදි.

 

Tuesday 22nd of August 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.