බෝගම්බර බන්ධනාගාරය සංරක‍ෂණය අනතුරේ

Print
Created on Friday, 24 March 2017
වසර 138ක් පුරා සිරකරුවන් නේවාසිකව රඳවා තැබූ බෝගම්බර ඓතිහාසික බන්ධනාගාරය 2014 ජනවාරි මස 01 වෙනි දින ඉතිහාසයට එක් විය. 1876දී යටත් විජිත පාලකයන් විසින් ආරම්භ කළ බෝගම්බර බන්ධනාගාරය ලංකාවේ අන්තිම රාජධානියේ ඉතිහාසයට බද්ධ ජාතික වස්තුවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ පුරාවිද්‍යා නීතියට එරෙහිව බෝගම්බර ඓතිහාසික බන්ධනාගාරය නාගරික සංවර්ධන අධීකාරියට පැවරීය. මහින්ද රාජපක‍ෂ බලයෙන් පහවී වසර දෙකක් ගතවී ඇත. බෝ්ගම්බර බන්ධනාගාරය තවමත් පුරා විද්‍යා දේපලක්  බවට පත් කර නැත. දිගු කලක් රක‍ෂිත බන්ධනාගාරය ලෙස භාවිතා කළ ඓතිහාසික ඇහැලේපොල වලව්වද රාජපක‍ෂ පාලනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දුන්නේ නැත.
 
නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අනුව, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සුපිරි හෝටල් සංකීර්ණයක් ලෙස සංවර්ධනය කෙරෙයි. ඒ ව්‍යාපෘතියෙහි සංරක‍ෂණ අරමුණක් නැත.
නාගරික සංවර්ධන අධිකාරිය සැකසු වාර්තාවේ එකී බෝගම්බර ඵෙතිහාසකි බන්ධනාගාරය හඳුන්වන්නේ උක්ත බෝගම්බර ඉඩම That Bogambara land හැටියටය. මෙයින් අදහස් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට පැවරුණ ඵෙතිහාසික බෝගම්බර බන්ධනාගාරය මහනුවර නගර මධ්‍යයේ පිහිටි තවත් ඉඩමක් පමණක් බවය. කුකුළා මස් කඩේට යවන්නේ කවා පොවා රැකීමට නොවේ. ඵෙතිහාසික බෝගම්බර බන්ධනාගාරය පුරා විද්‍යා කොමසාරිස්ට භාර නොදෙයි නම් එය නගර සංවර්ධනයේ මුවාවෙන් මස් කරනු නිසැකය. මේ වරද නිලධාරීන්ගේ නොවේ. රට භාර පාලයන්ගේය. රුහුණේ උපන් රජපක‍ෂවරුන්ට කන්ද උඩරට ඵෙතිහාසික වටිනාකම් තේරෙන්නේම නැත. ඵෙතිහාසික කතරගම බස්නායක තනතුර ඌව මහ ඇමතිවු තම ඥාති පුත්‍ර ෂශීන්ද්‍ර රාජපක‍ෂට භාර දීමට විහාර  දේවාලගම් පනත ඉරා විසි කළ රාජපක‍ෂලා බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ හෝටල් ඉදි කිරීම අරුමයක් නොවේ. ඉතිහාසය නො දන්නා මිනිසුන්ට වඩා ඉතිහාසයක් නැති මිනිසුන් භයානකය. මහින්ද රාජපක‍ෂගේ අඩුපාඩුව ඉතිහාසය නො දැනීමය. වර්තමාන පාලකයන්ට ඉතිහාසයක් ඇත්තේම නැත. ජේ .ආර්. ජයවර්ධනට ඉතිහාසයක් තිබුණා නම් කිසි විටෙක ඉතිහාසය කන්නද කියා අසන්නේ නැත.
 
නාගරික සංවර්ධන අධිකාරිය බෝගම්බර බන්ධනාගාරය දකින්නේ යටත් විජිත පාලකයන් අපේ උරුමයන් නොතකා හැරිය ආකාරයෙනි. මේ බන්ධනාගාරය ස්ථාපිත කිරිමේදි යටත් විජිත පාලකයන් තේරුවේ රෝහලට අධීකරණයට පොලිසියට ආසන්න ඉඩමකි. එහි යටගියාව ඓතිහාසික පසුබිම් බැලූවේ නැත. ඓතිහාසික බන්ධනාගාර පරිශ්‍රයේ හෝටලයක් ඉදි කිරීමට සැලසුම් කරන රනිල්ලා පාඨලී චම්පිකලා ද ශ්‍රී  දළදා නගරයේ රේස් පැද්ද රාජපක‍ෂලා ද කන්ද උඩරට උරුමයට වෛර කරන්නෝ විය හැකිය. ඔවුන් ශ්‍රී ලාංකිකයන් ලෙස කල්පනා නො කරති.
 
බෝගම්බර වැව යනු ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වා මැරූ ස්ථානය වේ. ඓතිහාසික එකී වැව පිහිටි කොටසේ බෝගම්බර බන්ධනාගාරය ඉදි කළ බව කියති. බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇහැලේපොල කුමාරිහාමි ස්මරකයක් ඉදි කර ඇත. දිගු කලක් සිර ගෙදර නේවාසිකයන් පවා පොහොය දිනවල මල් පුුදා ඇයට පින් පැමිණවූ බව කියති. එවැනි තැනක හෝටල් ඇටවීම යනු ඓතිහාසික වරදකි. රාජපක‍ෂලා රේස් පැදීමෙන් අවමානයට පත්වුණේ රාජපක‍ෂලා මිස ශ්‍රී  දළදා නගරය නොවේ. අද එසේ විය යුතු නැත. යහ පාලන ආණ්ඩුව පත් පත් කළේ දේශපාලන පක‍ෂ නොවේ. සිවිල් බලවේග විසිනි. අද සමහරු එකී සිවිල් බලවේග එන්ජීඕ ලෙස හඳුන්වති. තම ජනතාවට වෛර කිරිම පාලකයන්ගේ සිරිතකි. සිවිල් බලවේග සියල්ල එන්ජීඕ ව්‍යාපාර නොවේ. මහින්ද රාජපක‍ෂට වැරදුණේද එතනය.
 
ජනවාරියේ පෙරළියේ හරහා ජනතාව අපේ්ක‍ෂා කළේ සදාචාර සම්පන්න රටකි. ඒ පාලකයන්ට සදාචාරය මෙන්ම ඉතිහාසය කියා දීමටද සිදුවී ඇති බව පෙනේ. වර්තමාන පාලකයන් බෝගම්බර ඓතිහාසික බන්ධනාගාරයට කරන හානිය ගැන මහනුවර ප්‍රමුඛ පුරවැසි පිරිසක් රජයට කලක සිට කරුණු කීහ. ඔවුන්ට බලධාරින් කීවේ ව්‍යාපෘතිය භාර දිමට විදේශිය ආයෝජකයන් පවා තෝරා අවසාන බවය. ත්‍රෛ නිකායික මහ නා හිමිවරුවන් ඊට මැදිහත් ව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මාර්තු 2 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ සම්බන්ධව සාකච්ඡාවක් කැඳවීය. එහිදී අනාවරණය වුණේ රජයේ නිලධාරින් සිය සංචාරක ව්‍යාපෘතිය වෙනස් කිරිමට සූදානම් නැති බවය. එහිදී බෝගම්බර බන්ධනාගාර ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අපහසුව ඉස්මතු කළ රජයේ නිලධාරින් බන්ධනාගාර නිල  නිවාස පිහිටි ඉඩම විකුණා මුදල් ලබා ගැනීමේ වෑයමක් හෙළිවිය. යහ පාලන ආණ්ඩුව සංවර්ධනයේ මුවාවෙන් සිදු කරන ඉඩම් විදේශිකයන්ට විකිණීමේ ක්‍රියාවලිය බන්ධනාගාර ව්‍යාපෘතියටද ගැටගසා ඇත. මහනුවර නගරට ඇත්තේ සීමිත ඉඩම් ප්‍රමාණයකි. එකී ඉඩම්වල හෝටල් ඉදි කිරිමෙන් ඓතිහාසික මහනුවර උරුමය හැඩය යටපත්වේ. මල්වතු මහා විහාරයට ආසන්නයේ ඉදි කළ දැවැන්ත හෝටල් සැලැස්ම මහනුවර නගර සභාව විසින් ප්‍රතික්ෂේප  කෙරිණ. ඉන්පසුව බලධාරින් නාගරික සංවර්ධන අධීකාරි පනත පෙන්වා එකී හෝටලය ඉදි කළහ. මහනුවර ඓතිහාසික ස්විස් හෝටලයට ආවේනික අනන්‍ය පෙනුම උක්ත ඉදි කිරිමෙන් යටපත්ව ඇති බව ඊට එක් උදාහරණයක් පමණකි.
 
මල්වතු මහා හිමියන් නම් කළ නියෝජිත පිරිසක් ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය සම්බන්දව පුුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය අඛීල විරාජ් කාරියවසම් හමුවී සාකච්ඡා කළහ. එහිදී ඇමතිවරයා කීවේ බෝගම්බර ඓතිහාසික බන්ධනාගාරය ජනාධිපති වරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දෙයි නම් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එය සංරක‍ෂණය කළ හැකි බවය. මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙම ව්‍යාපෘතියට මැදිහත්වීමේ අවසරය ලැබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂගේ 2014 ඔක්තෝබර් මස 30 වෙනි දින දරන අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කළොත් පමණකි. එය සිදු වේ නම් බන්ධනාගාර නිල නිවාස පිහිටි ඉඩම විකිණීමටද අවශ්‍ය නොවේ. ඒ සඳහා පියවර ගත හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණකි. දේශ ප්‍රේමින්ට එරෙහිව යටත් විජිත පාලකයන් නිකුත් කළ ගැසට් පත්‍ර්‍රය අහෝසි කළ වර්තමාන ජනාධිපති වරයා හිටපු ජනාධිපති නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය ද ජාතියේ ගෞරවය වෙනුවෙන් අවලංගු කළ යුතුව ඇත.
 
අතිගරු මහා සංඝයා වහන්සේ ඇතුලූ මහනුවර ජනතාව අපේක‍ෂා කරන්නේ මේ ස්ථානය කෞතුකාගාරයක් ලෙස සංරක‍ෂණය කළ යුතු බවය. එකී පරිශ්‍රයෙහි උඩරට පාරම්පරික අත්කම් කලා ශීල්ප ප්‍රවර්ධනයට ඉඩ සැලසිය යුතුව ඇත. සංස්කෘතික නර්තන ශිල්ප ප්‍රදර්ශනයට ඉඩ ලබාදිය යුතුවේ. එවිට සවස් කාලයේ ශ්‍රී  දළදා මාලිගාව අවට ඇතිවන තදබදය ඉවත් වේ. එසේම ප්‍රදේශයට අවේනික උරුම සහ ඓතිහාසික කරුණු අධ්‍යයනට අවශ්‍ය පහසුකම් ඇති කළ යුතු ය. උඩරට ගිවිසුම අත්සන් කිරිමට භාවිතා කළ බව කියන පෞරානික මේසය ගැන පසුගියදා කරුණු විය. එවැනි ජාතික වස්තුන් රාශීයක් මේ ප්‍රදේශයේ පාරම්පරික පවුල් සතුව ඇත. එකී භාණ්ඩ එකී පවුල්වලට ගෞරවයක් වන ආකාරයට මෙම ඓතිහාසික භූමියකදී ප්‍රදර්ශනය කිරිමේ ඉඩකඩ ඇති කළ යුතුවේ.

මේ සාකච්ඡාව අතර, ජනතාව ප්‍රතිෙක‍ෂ්ප කළ හම්බන්තොට ව්‍යාපෘතිය හරහා පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා තේරුම් ගත හැකිය. ජනතා අපේක‍ෂා නොතකා ගන්නා ප්‍රතිපත්ති තීරණ නිසා යහ පාලනය ජනතාවගේ පිලිකුළට භාජනය වී ඇත. එයාර් ලංකා ආයතනය නව රජය විසින් බදු දී ඇත්තේ විෂය භාර ඇමතිවරයාගේ අනුමැතියෙන් තොරවය යන්න ප්‍රසිද්ධ කරුණකි. එයින් හැගී යන්නේ තම කැබිනට් සගයන් පවා නොතකා කටයුතු කිරිමට සමහර බලවතුන් ක්‍රියා කරන බවය. රාජපක‍ෂ යුගයේ උඩරට සංවර්ධන අධිකාරිය මෙන්ම දක‍ෂිණ සංවර්ධන අධිකාරියද අහෝසි කළේය. එහෙත් යහ පාලන රජයේ සමහරු හොර රහසේම දක‍ෂිණ සංවර්ධන අධිකාරිය පමණක් ක්‍රියාත්මක කිරිම තුල ඇත්තේ ප්‍රදේශය කෙරෙහි පවත්නා කෝන්තරය පමණකි. මේ පාලකයාට රට භාර දුන්නේ රටටම පොදු යහපතක් අපේක‍ෂාවෙනි. එය සිදුවේද? ඉඩම් විකිණීමටට ජන මතයක් ලැබි නැත. අනාගතයට පරපුුරට රටේ භූමිය ඉතිරි කර තැබිමේ වගකීම පාලකයන් තේරුම් ගත යුතුවේ.

මෙම ජාතික උරුමය නාගරික සංවර්ධන අධිකාරියේ දේපලක් බවට පත් කළ අති විශේෂ ගැසට් පත්‍රය වහා අවලංගු කර මෙම ඓතිහාසික පරිශ්‍රය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දිය යුතුවේ. එහි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඇති හැකියාවද ගරු මල්වතු මහා හිමියන් රජයට අවධාරණය කර ඇත. බෝගම්බර ඓතිහාසික බන්ධනාගාර පරිශ්‍රය ජාතික උරුමයක් ලෙස සංරක‍ෂණය කර පවත්වා ගෙන යාම පිණිස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්, මහ නගර සංවර්ධන ලේකම්, පුරාවිද්‍යා කොමසාරිස්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක‍ෂ ජනරාල් නාගරික සංවර්ධන අධීකාරියේ අධ්‍යක‍ෂ ජනරාල් පේ්රාදෙණීය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය මහනුවර දිස්ත්‍රික්  ලේකම් මහනුවර නාගරික කොමසාරිස් සහ මල්වතු අස්ගිරි මහ නායක ස්වාමින් වහන්සේලා විසින් නම් කරන විද්වතුන් සිව් දෙනෙකු ඇතුලත් ක්‍රියාකාරි කමිටුවක් පත් කරන ලෙසද එකී ඉල්ලීමේ දැක්වේ. වසර දෙදහස් ගණනක් පැරණී අඛණ්ඩ ඉතිිහාසයක් හිමි මේ රටේ ජාතික උරුමය ගැන පාලකයන්ට අවබෝධයක් නැතිවා නොවේ. මේ සිදුවන්නේ කොලේ වසා ගැසීමකි.
 
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි
 
මෙම ලිපිය මාර්තු 23 වන බ්‍රහස්පතින්දා ලංකාදීප පුවත්පතේ මුලින් පලවිය. ලිපිය ලියු ලේඛකයාගේ ලිඛිත අවසරය ඇතිව එය ද කැන්ඩි නිවුස් පුවත්පතේ නැවත පලකරනු ලැබේ.

 

Tuesday 22nd of August 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.